හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන වල ප්‍රධාන කර්තව්‍යය හා වගකීම වන්නේ තම පළාත් පාලන බල ප්‍රදේශය තුල වෙසෙන මහජනතාව වෙත ගුණාත්මක සේවා සැපයීමෙන් හා යටිතල පහසුකම් සැපයීමෙන් ඔවුන්ගේ ජීවන තත්වය පෝෂණය කිරිම හා වර්ධනය කිරීමයි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හුදී මහජන සේවය වෙනුවෙන් කැපවු ආයතනයක් ලෙස 1987.05.12 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 453/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1987.05.11 දාතම ආඥාව මඟින් ඇල්පිටිය සුළු නගර සභාව, ගොළුවාමුල්ල – ඕමත්ත , අම්බන – පිණිකහන ගම් සභා එක් කරමින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ (2) 1 වගන්තිය යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රතිස්ථාපනය කරන ලදි. එමෙන්ම අමුගොඩ ග්‍රාමය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා උප කාර්යාලයක් පිහිටුවීම තුළින් තවදුරටත් මහජන සේවය වෙනුවෙන් ඇප කැප වී ඇත.

විශාලත්වයෙන් වර්ග සැතපුම් 52 ක භූමි ප්‍රමාණයකින් යුතු ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පසෙකින් අවිත්තාව ගඟ දක්වා ද පසෙකින් අටකොහොට ඇළ දක්වා ද තවත් පසෙකින් කුරුඳුගහ හැතැක්ම නගරයේ පාලමින් මොබ දක්වා ද අනෙක් පසින් හොරන්ගල්ල ගුරුවල දක්වා ද පැතිර ඇත.

ප්‍රෞඩ අතීතයක සුව විඳින ඇල්පිටිය ජනතාවගේ සුඛ විහරණයට කැපවුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නිරතුරුවම ජනතාව සමඟ උරෙනුර ගැටී සිය සේවාවන් ඉටු කරයි. පෙර සිංහල රජ දරුවන්ගේ කළ සිටම බතින් බුලතින් ස්වයංපෝෂණය වුණු මේ අභිමානවත් පුරවරය 21 වන සියවසේ තාක්ෂණයෙන් පරිපූර්ණය කිරීම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පරම අභිලාශයයි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නැගෙනහිර බෙන්තර වලල්ලාවිට කෝරලයට අයත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සාමාන්‍ය කඳු , හෙල් වලින් සමන්විත වසරේ වැඩි කාලයක් වර්ෂාපතනයෙන් යුත් ප්‍රදේශයකි. වී ගොවිතැනින් පෝෂිත මෙම ප්‍රදේශය තේ, පොල්,කුරුඳු වැනි අපනයන භෝග වලින් සමන්විත වේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු වශයෙන්ද පවත්වා ගෙන යනු ලැබේ. ජනගහණයෙන් විශාල කොටසක් මෙම වතුවල පදිංචිකරුවන් වශයෙන් කටයුතු කරනු ලැබේ. කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැපයීමෙන් ද ස්වයං රැකියා අවස්ථා ඇති කිරීමෙන් ද, මොවුන්ගේ ජීවන තත්ත්වය නගාලිය හැකිය.

අපගේ දැක්ම

තිරසර සංවර්ධනයක් තුළින් අභිමානවත් පුරවරයක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රෙගුලාසි අනුගමනය කරමින් පවත්නා සීමිත සම්පත් කාර්යක්ෂම හා ඵලදායිතාවයෙන් යුතුව මනා සැලසුම්කරණය තුළින් ඇල්පිටිය බල ප්‍රදේශයේ ප්‍රජාවගේ සුඛ විහරණය හා සුභසාධනය නංවාලීමට අවශ්‍ය සේවාවන් හා කටයුතු සම්පාදනය කිරීම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දකුණු පළාතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය

 

 

පුරවැසි ප්_රඥප්තිය Elpitiya 2023 (2)

 

 

 

1987 ප්‍රාදේශීය සභා පනත

පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ජනතාවට පළාත් මට්ටමින් ඵලදායී ලෙස සහභාගී වීම සඳහා වැඩි අවස්ථා සලසා දීමේ අරමුණ ඇතිව, ප්‍රාදේශීය සභා පිහිටුවීම සඳහා ද එම සභාවල බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙම පනත වේ.

 

1987-Pradeshiya-Sabha Panatha -SINHALA (1)